Lady Galadriel - ගැලැඩ්රියල් ආර්යාව - TV Series මංසල

අලුත් පරණ TV Series ගැන තොරතුරු සිංහලෙන් දැන ගන්න එන්න අපේ බ්ලොග් එකට.

Advertisement

Latest

Tuesday, August 11, 2020

Lady Galadriel - ගැලැඩ්රියල් ආර්යාව


Lady Of Light

Finarfin ගේ දුව Galadriel නොල්දෝර් රදල දුවණියක් විය...ඇය නොල්දෝර් ජාතික ෆින්වේ රජුගේ මිණිබිරිය මෙන්ම ටෙලෙරි අධි රජු ඔල්වේ ගෙද මිණිබිරිය විය...ඇගේ මිත්තණිය ඉන්ඩිස් ගේ පැත්තෙන් ඈ වන්‍යාර් ජාතිකයෙකුද වේ...

ඇගේ පියා ෆින්වේ රජුගේ දෙවන විවාහයේ දෙවන පුත් ෆිනර්ෆින් වන අතර ඇගේ මව ෆල්මාරි ජනයාගේ රජු වූ ඔල්වේගේ දුවණිය එයාරෙන්වන් ය...ඇය ඉපදුනේ පලමු යුගයට පෙර වැලිනෝරයෙහිය...ඇය ෆෙයනෝර්ට පසුව ඉපදුනු බලවත්ම සුරයා වූ අතර ඇගේ උස මෙන්ම ශරීර ශක්තියද කාන්තාවකට වඩා ඉහලය...එම නිසා ඇගේ මව ඇයව නම් කරන ලද්දේ නර්වෙන් (Nerwen "Man-Maiden") ලෙසය...කෙසේ නමුත් ඇගේ පියා ලබා දුන් නාමය අර්ටානිස් (Artanis) වේ...

ඇය හට රිදී සහ රත්‍රන් දෙපැහැයෙන්ම හිසකෙස් පිහිටා තිබුනු අතර ඇගේ කොණ්ඩය තුල ද්විත්ව වෘක්ෂයේ ආලෝකය ගැබ්ව ඇතැයි සුරයන් අතර විශ්වාසයක් පවතී...මේ නිසාම ෆෙයනෝර් ඇගෙන් හිස කෙස් තුනක් කීප වරක්ම ඉල්ලා සිටි නමුත් ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී...

මොර්ගොත් විසින් වැලිනෝරය අඳුරු කිරීමෙන් පසු ෆෙයනෝර් ගේ වදන් ඇසූ ඇයට මධ්‍යම පෘථිවියට ගොස් තමාගේම රාජ්‍යයක් ගොඩනගාගැනීමට උවමනා විය...එහෙයි ඇයද ෆෙයනෝර් සමඟ යාමට සූදානම් විය...කෙසේ නමුත් ඇල්ක්වලොන්ඩේහි ඇති වූ ඥති ඝාතන සටනේදී ඇය තම මවගේ ජනතාව ආරක්ෂා කට ගැනීමට නොල්දෝරුවන් සමඟ සටන් කොට ඇත (කෙසේ නමුත් මෙම අදහස පසු සංස්කරණයකදී වෙනස් කර ඇත)...ඉන් පසු ඇය ෆින්ගොල්ෆින් ගේ නඩය සමඟ හැල්කැරැක්සේ හරහා මධ්‍යම පෘථිවිය වෙත පියනැගීය...කෙසේහෝ ඇය ෆෙයනෝර්ගේ ප්‍රකාශයට සම්බන්ධ නොවුනත් ඇයද මැන්ඩොස් ගේ ශාපයට හසු විය...එම ශාපය නිසා ඇගේ පියා ෆිනාර්ෆින් වැලිනෝරයෙන් පිටවීමට අකමැති වුවත් මිනිසුන්ව දැකගැනීමට ආසා කල ෆින්රොඩ් ෆෙලගන්ඩ් ඔහුගේ සහෝදරිය ගැලැඩ්‍රියෙල් සමඟ ගමනට එක් විය...හෙල්කැරැක්සේ පසුකල එකම කාන්තාව ගැලැඩ්‍රියෙල්ය...

මධ්‍යම පෘථිවියට පැමිණීමෙන් පසුව ඩොරියත් හි රජු එලු තින්ගොල් (එල්වේ සින්ගොල්ලෝ) විසින් ඇයවත් ඇගේ සහෝදරයාවත් ඩොරියත් වෙල පිලිගත්තේය...එහෙදී ඇයට එල්වේ ගේ ඥාතියකු වූ කෙලේබොර්න් (Celeborn) ව හමුවූ අතර ඔවුන් දෙදෙනා විවාහ විය...පසු කලෙක ෆින්රොඩ් නාර්ගොත්‍රන්ඩ් (Nargothrond) රාජධාණිය පිහිටුවමින් නැරොග් වෙත ගිය නමුත් ගැලැඩ්‍රියෙක් ඩොරියත් හිම රැඳී සිටියය...

එහිදී ඇය මයාරියක වූ මෙලියාන් රැජිණ සමඟ සුහද වූ අතර ඇගෙන් බොහෝ දෑ ඉගෙනගති...මෙලියාන් ඇගෙන් නොල්දෝරය පැමිණි හේතුව විමසුවත් ඇය ද්විත්ව වෘක්ෂයේ විනාශයෙන් පසුව සිදුවූ දෙය පැවසුවේ නැත...කෙසේ නමුත් අවසානයේ ඇයට සියල්ල හෙලි කිරීමට සිදු විය (ඥාති ඝාතනය හැර)...කෙමෙන් එම කටකතා තින්ගොල්ගේ කනට වැටුනත් ෆිනාර්ෆින් සහ ෆින්ගොල්ෆින් නිවස කෙරේ ඔහුගේ තිබූ දයානුකම්පාව නිසා ඔහු ගැලැඩ්‍රියෙල් හට කිසිවත් සිදු කලේ නැත...

නාර්ගොත්‍රන්ඩ් බිඳ වැටීමට පෙර ඇය සහ කෙලේබොර්න් එරියාඩෝර් වෙත ගියබවක් පැවසුවත් පලමු යුගය තුල ඔවුන් දෙදෙනා පිලිබඳ වැඩි විස්තරයක් සොයාගත නොහැක...

මොර්ගොත් ගේ බිඳ වැටීමෙන් පසු නොල්දෝරයන්ට පැනවූ තහනම ඉවත් කෙරුවත් ඇගේ සැමියා නිසා ඇය වැලිනෝරය වෙත යාම ප්‍රතික්ෂේප කලාය...එම නිසා ඇයට වැලරුන් විසින් වැලිනෝරය තහනම් කල අතර ඇය නැවත පැමිණීමට අකමැති බව පවසා සිටියාය...

දෙවන යුගයේ මුල් කාලය තුල කෙලේබොර්න් නොල්දෝර් අධි රජ ගිල් ගැලඩ් ගේ අණ යටතේ හාලින්ඩොන් හි වැඩවසම් පාලනයක් ගෙන ගියේය...අවසානයෙ ඔවුන් දෙදෙනා නොල්දෝර්, සින්දාර් මෙන්ම නැන්දෝර් සුරයන් කිහිප දෙනෙකු සමඟ එරියාඩෝර් අත හැර දෙ.යු. 750 වන විට එරෙගියන් වෙත පිටත් විය...

පසුව ඇයට කසාඩ් ඩූම් හි කුරුමිට්ටන් මගින් අම්දීර් රජු යටතේ සිටින නැන්දෝර් සුරයන් සමඟ සම්බන්ධතා ඇති කරගැනීමට හැකි විය...1400 වසර වන විට හෝ ඊට වසර කීපයකට පෙර ඇය ඇගේ දුව කෙලෙබ්‍රියාන් (Celebrian) සමඟ හිතෙග්ලිර් වෙතට පැමිණියාය...කෙසේ නමුත් කෙලේබොර්න් හට කුරුමිට්ටන් සමඟ තිබූ වෛරය නිසා ඔහු එරෙගියන් හි නැවතුනි...

අනාටාර් හෙවත් සෞරොන් බල මුදුවක් නිර්මාණය කර ඇති බව දැනගත් වහාම කෙලේබ්‍රිම්බොර් ඇයගෙන් උපදෙස් පතා පැමිණිය අතර ඇය මුදු සඟවන්නැයි පැවසුවාය...ඒ අනුව ඔහු එක් මුදුවක් ගැලෑඩ්‍රියෙල් හටද අනෙක් මුදු ද්විත්වය ගිල් ගැලඩ් සහ Cirdan හටද ලබබා දුනි...ඇගේ මුදුවෙ බලය භාවිතා කොට ඇය ලෝරිනන්ඩ් (ලොත්ලොරියෙන්) වැලිනෝරය මෙන් සුන්දර ස්ථානයක් බවට පත් කලාය...එමෙන්ම ඇගේ මුදුව පෙනෙන්නේ වෙනත් මුදු දරන්නකුට පමණි...ෆ්‍රෝඩෝ ලොරියෙන් හිදී සැම්ගෙන් ඇගේ මුදුව දුටුවාදැයි ඇසූ කල ඔහු පැවසුවේ ඔහු ඇඟිල් අතරින් තරුවක් දුටු බවය...

සෞරොන් සහ සුරයන් අතර පැවති යුද්ධයෙන් පසු ඇය කෙලේබොර්න් ව සොයා ඉම්ලාද්‍රිස් වෙත ගිය අතර එහි දිගුකලක් රැඳීසිටීමෙන් පසු අම්දීර් රජුගේ පුත් අම්රොත් ගේ මිය යාමෙන් පසු පාලුවෙමින් තිබුනු ලොරියෙ වෙත ඔවුන් දෙදෙනා පිවිසියේ තෙවන යුගයේ 1981 දීය...

එහිදී ඔවුන් දෙදෙනා කරාස් ගැදොලන් මූලික කොටගෙන ජනපදයක් පිහිටුවා ගැණුනු අතර එය පසුකාලීනව ලොත්ලොරියෙන් ලෙස හැඳින්විය...තෙ.යු. 2463 දී ගැලැඩ්‍රියෙල්, ගැන්ඩල්ෆ්, සරුමාන්, එල්රොන්ඩ් කෙලේබොර්න් සහ කියෙර්ඩාන් එක්ව ධවල කවුන්සිලය පිටවීය...ගැන්ඩල්ෆ් සහ ගැලැඩ්‍රියෙල් හොඳ මිතුරන් වූ හෙයින් ගැන්ඩල්ෆ් ව ධවල කවුන්සිලයේ නායකයා බවට පත් කල යුතුයැයි ඇය පැවසුවත් ඉස්තාරීන්ගේ නායකයා වීමෙන් සරුමාන්ට එම ස්ථානය හිමි විය...නමුත් ගැලැඩ්‍රියෙල් ඔහුව විශ්වාස නොකල අතර ඇය සවන් දුන්නේ ගැන්ඩල්ෆ් හට පමණි...වරින් වර ඩොල් ගුල්ඩූර් දෙසින් පැමිණෙන සෙවනැල්ල සෞරොන් බව ගැන්ඩල්ෆ් ස්තීරවම පැවසුවත් එය විශ්වාස කලේ ගැලෑඩ්‍රියෙල් පමණි...කෙසේ නමුත් තොරින් ඕකන්ශීල්ඩ් ගේ ගවේෂණය අතරතුර ධවල කවුන්සිලට එකතු වී ඩොල් ගුල්ඩූර් වෙත පහර දීමට ගියත් ඔවුන් යන විට සෞරොන් මොර්ඩෝර් වෙත ගොස් තිබුනි...

මුදුවෙහි යුදධය සිදුවූ සමයේදී ගැලැඩ්‍රියෙල් ගේ වැඩි කාර්යභාරයක් නොවීය...3019 දී ඇයට මුදුවේ සංධානය හමුවූ අතර ඔවුන්ට වටිනා ත්‍යාගයන් රැසක් පිරිනැමුවාය...ඇය ෆ්‍රෝඩෝ බැගින්ස් හට වැඩි අවධානයක් යොමු කල අතර ඇගේ දර්ශන කැඩපත දෙස බැලීමට අවස්ථාව ලබා දුනි...එහිදී ෆ්‍රෝඩෝ ඇයට තනි මුදුව පිරිනැංවූවත් ඇය එය ප්‍රතික්ෂේප

කලේ දිගු කලක් ඇ තුල තිබූ ආශාව අත්හලමිනි...ඇය ෆ්‍රොඩෝ හට එයාරෙන්ඩෙල් ගේ තරුවෙහි ආලෝකය ගැබ්වූ වීදුරු කුප්පියක්ද, ඇරගොර්න් හට එල්ෆ්ස්ටෝන් (Elfstone) නම් මාණ්‍යයද ලබා දුනි...ගිම්ලිට ලබ දෙන ත්‍යාගය කුමක් දැයි ඇයට කුතුහලයක් ඇති වූ නිසා ඇය ඔහුගෙන් අවශ්‍ය කුමක් දැයි ඇසූ විට ගිම්ලි ඇගෙන් එක් කෙස් ගසක් ඉල්ලා සිටියේය, නමුත් ඒ වෙනුවෙන් ඇය ඔහුට කෙස් ගස් තුනක් ලබා දුන්නේ ඔහුගේ සිතෙහි වූයේ පිවිතුරු චේතනාවක් නිසාය...පසු කලෙක ගිම්ලි එම ත්‍යාගය විනාශ කල නොහැකි කදාවක් තුල තැන්පත් කලේය...

ගැන්ඩල්ෆ් කසාඩ් ඩුම් පාලමෙන් වැටුනු පසු ඇය ග්වේහිර් ව (Gwaihir) ඔහුව සෙවීමට පිටත් කලාය...ඔහු ගැන්ඩල්ෆ් ගේ නිසල ශරීරය රැගෙන ආ අතර ඇය ඔහුගේ තුවාල සුව කොට ඔහුට නව ලෝගුවක් සහ යෂ්ටියක් ලබා දුන්නේ ඔහුගේ බලය පෙන්වීමටය...ගැන්ඩල්ෆ් ගේ පිටවීමෙන් පසු ලොත්ලොරියෙන් වෙත් තුන් වරක් ඩොල් ගුල්ඩූර් හි හමුදා සාර්ථකව පහර දුන් අතර ගැලැඩ්‍රියෙල් විසින් එම ආක්‍රමණ තුනම ජය ගැණිනි...ඉන් පසුව කෙලෙබෝර්න් සහ ගැලැඩ්‍රියෙල් ත්‍රන්දුයිල් සමඟ එක්ව ඩොල් ගුල්ඩූර් සම්පූර්නයෙන්ම විනාශ කර දැමීය...

ඉන් පසු මුදුවේ යුද්ධය අවසන් වීමත් සමඟ ඇය අර්වෙන් ගේ විවාහ මංගල්‍යයට සහභාගී විය...මධ්‍යම පෘථිවියෙහි ජීවිතය පිලිබඳ වෙහෙසට පත් වූ ගැලෑඩ්‍රියෙල් 3021 වසරේදී වැලිනොරය වෙත පිට වුනත් කෙලේබොර්න් ත්‍රන්දුයිල් සමඟ මර්ක්වුඩ් වනය නැවත ගොඩනැගීමට නැවතුනි...නමුත් වසර කීපයකට පසු ඔහුද වැලිනෝරය වෙත පිටත් විය...පැවසෙන අන්දමට ඔහු සමඟ පුරාණයෙහි සියලු මතකයන් මධ්‍යම පෘථිවියෙන් සමුගෙන ඇත...

_-_Er Murazor_-_
!මෙම පෝස්ටුව අයිතිකරුගේ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්!

No comments:

Post a Comment